කැලණිය සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා (14) පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා පැය 13යි විනාඩි 30ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. බියගම ජල පවිත්‍රාගාරයට විදුලිය සපයනු ලබන පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම් විසන්ධි කිරීම සිදු කෙරේ.

මෙම ජල කප්පාදුව පැළියගොඩ, වත්තල – මාබෝල, ජාඇල සහ කටුනායක – සීදූව යන නගර සභා බල ප්‍රදේශවලට සෘජුවම බලපානු ඇත. ඊට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ සහ ජාඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

එමෙන්ම කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ඇතැම් කොටස්වලට ද මෙම කාලසීමාව තුළ ජල සැපයුම විසන්ධි වන බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව කනගාටුව පළ කරන ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, අදාළ ප්‍රදේශවල පාරිභෝගිකයන්ට කල්තියා ප්‍රමාණවත් පරිදි ජලය රැස්කර තබාගන්නා ලෙසත්, ඒවා අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් දැනුම් දී සිටී.