කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (21) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු ආරම්භ වී තිබේ. ඒ අනුව 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය තෙවැනි වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද සිට ආරම්භ කෙරේ.
මෙම කාරක සභා අවස්ථාවේ විවාදය අද (21) සිට ලබන දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක කාලයක් පුරා පැවැත්වීමට නියමිතය. තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ජාතික ජන බලවේග රජයේ තෙවැනි අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඉකුත් නොවැම්බර් 12 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. අනතුරුව නොවැම්බර් 13 වැනිදා සිට දින හතක කාලයක් අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්විණි.
එම විවාදය අවසානයේ ඊයේ (20) පස්වරුවේ පැවති ඡන්ද විමසීමේදී 2027 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 97කින් සම්මත වූ අතර, එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 60ක් හිමි විය. රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනද ඇතුළුව සෑම දිනකම පෙරවරු 9.30ට මෙම අයවැය විවාද වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.


