ඉරානය සමඟ පවතින සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වුවහොත් නව වසරෙන් පසුව යළිත් ඉරානයට එරෙහිව ප්‍රහාර ආරම්භ කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. විදෙස් මාධ්‍ය නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර තිබේ.

ටෙහෙරානය සමඟ වක්‍ර සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන නමුත් ඒවායේ ප්‍රගතියක් නොමැති වීම සම්බන්ධයෙන් තමන් කලකිරීමට පත්ව සිටින බවද ට්‍රම්ප් ප්‍රකාශ කළේය. ඉරාන සාකච්ඡාකරුවන් විවේචනය කරමින් ඔවුන් ‘වෘත්තීය මට්ටමේ නර්තන ශිල්පීන්’ ලෙස හඳුන්වමින් ඔහු පැවසුවේ, “ඔවුන් නිතරම කතා කරනවා. ඔවුන් කරන්නේ කතා කිරීම පමණයි. නමුත් ඒ සියල්ල විකාරයක්” යනුවෙනි.

මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින ගැටලුකාරී තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඉරාන වරායන් වෙත අමෙරිකාව පනවා ඇති නාවික අවහිරතාව මධ්‍යයේ වුවද තෙල් ප්‍රවාහන නෞකාවලට එරෙහි ඉරාන ප්‍රහාර අඛණ්ඩව සිදු වන බව වාර්තා වේ.

එම නාවික අවහිරතාව බිඳ දැමීමට ඉරානය උත්සාහ කළ හැකි බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය පළ කර ඇති වාර්තා පිළිබඳව අදහස් දක්වමින් ට්‍රම්ප් අනතුරු ඇඟවූයේ, එම අවහිරතාව පසුකර යාමට උත්සාහ කරන ඉරාන නෞකාවලට ප්‍රහාර එල්ල කර මුහුදුබත් කරන බවය.