ශ්‍රී ලංකාවේ අපනයන කේන්ද්‍රීය කර්මාන්තවල කාබන් විමෝචනය අවම කරන අතරතුර විදේශීය සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීමට නව අවස්ථා රැසක් පවතින බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) පෙන්වා දී තිබේ. තුර්කියේ ඇන්ටාලියා නුවර නොවැම්බර් 9 සිට 20 දක්වා පැවැති එක්සත් ජාතීන්ගේ 31 වැනි දේශගුණික විපර්යාස සමුළුව (COP31) අමතමින් ආයෝජන මණ්ඩලයේ පරිසර කළමනාකරණ අධ්‍යක්ෂ අසංක වෙලගෙදර මේ බව සඳහන් කළේය.

කාර්මික අංශයේ කාබන් විමෝචනය අඩු කිරීම සමඟ විදේශීය ආයෝජන ඉහළ නැංවීම, අපනයන පුළුල් කිරීම සහ නව රැකියා අවස්ථා බිහි කිරීම සඳහා ශ්‍රී ලංකාවට හැකියාව ඇති බව ඔහු පැවසීය. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක 1.5කට සීමා කිරීම, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීම COP31 සමුළුවේ ප්‍රධාන අරමුණු අතර වේ. එසේම නොවැම්බර් 12 වැනිදා ව්‍යාපාරික ආයතන, මූල්‍ය ආයෝජන ආයතන, නගර සහ කලාප ඇතුළු රාජ්‍ය නොවන පාර්ශ්වයන්ගේ දේශගුණික ක්‍රියාකාරකම් ඇගයීමට Net-Zero Recognition Framework වැඩපිළිවෙළද හඳුන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අපනයන කර්මාන්ත රැසක් පුනර්ජනනීය බලශක්තිය, පිරිසිදු නිෂ්පාදන ක්‍රමවේද, අපජල ප්‍රතිචක්‍රීකරණය සහ බලශක්ති කාර්යක්ෂම තාක්ෂණයන් භාවිතයට යොමුව ඇති බව ආයෝජන මණ්ඩලය සඳහන් කරයි. එහෙත් හරිත මූල්‍ය පහසුකම්, නවීන තාක්ෂණය සහ තාක්ෂණික දැනුම ලබා ගැනීමේ අපහසුතා හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තවදුරටත් අභියෝගවලට මුහුණ දී සිටින බවද එහි දැක්වේ.

ශ්‍රී ලංකාවේ තෙවැනි ජාතිකව තීරණය කරන ලද දායකත්ව සැලැස්ම (NDC 3.0) අනුව 2026 සිට 2035 දක්වා කාලය තුළ සාමාන්‍ය තත්ත්වය යටතේ පුරෝකථනය කරන හරිතාගාර වායු විමෝචනයට සාපේක්ෂව සියයට 20.09ක අඩුවීමක් ළඟා කර ගැනීමට ඉලක්ක කර තිබේ.

ඒ අනුව කර්මාන්ත කලාප සාම්ප්‍රදායික කාර්මික ප්‍රදේශවලින් පරිසර හිතකාමී, සම්පත් කාර්යක්ෂමව යොදා ගන්නා සහ අඩු කාබන් විමෝචනයක් සහිත කාර්මික පරිසර පද්ධති බවට පරිවර්තනය කිරීමට ආයෝජන මණඩලය අවධානය යොමු කර ඇත. විශේෂයෙන් සීතාවක අපනයන සැකසුම් කලාපයේ අපජල පිරිපහදු පහසුකම් දියුණු කිරීම, පාරිසරික අධීක්ෂණය තහවුරු කිරීම සහ එක් කර්මාන්තයක අපද්‍රව්‍ය තවත් කර්මාන්තයක සම්පතක් ලෙස භාවිත කිරීමේ ක්‍රමවේද හඳුන්වා දීමට අවස්ථා ඇති බව පෙන්වා දී තිබේ.

අලුතින් ඉදි කිරීමට යෝජිත කර්මාන්ත කලාපවලටද සැලසුම් අවධියේ සිටම පුනර්ජනනීය බලශක්තිය, අපජල ප්‍රතිචක්‍රීකරණය, තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සහ දේශගුණික අවදානම්වලට ඔරොත්තු දෙන යටිතල පහසුකම් ඇතුළත් කිරීමට යෝජනා වී ඇත. පිරිසිදු බලශක්තිය, චක්‍රීය ආර්ථික තාක්ෂණයන්, අඩු කාබන් නිෂ්පාදන සහ පාරිසරික යටිතල පහසුකම් සඳහා ජාත්‍යන්තර ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට හරිත ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනක් (Green Investment Promotion Programme) ක්‍රියාත්මක කිරීමටද ආයෝජන මණඩලය යෝජනා කර තිබේ. කාර්මික ඉඩම් පමණක් නොව ජාත්‍යන්තර ආයෝජකයන්ගේ නව අපේක්ෂාවන්ට ගැළපෙන තිරසාර කර්මික පරිසර පද්ධතියක් ආයෝජන අවස්ථාවක් ලෙස ප්‍රවර්ධනය කළ හැකි බව අසංක වෙලගෙදර අවධාරණය කළේය.