ජනමාධ්‍යවේදීන්ගේ තාක්ෂණික ප්‍රවේශය සහ ශක්තිතා වර්ධනය සඳහා පසුගිය අයවැයෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට රුපියල් මිලියන 104ක් වෙන් කළ බවත්, මේ වසරේදීත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100ක් වෙන් කර ඇති බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය වන කෞෂල්‍යා ආරියරත්න නොවැම්බර් 25 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ වසර 20ක් පමණ ක්‍රියාත්මක වන ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන මෙවර පුළුල් කරමින්, ඉතිහාසයේ ප්‍රථම වතාවට ආචාර්ය උපාධි (PhD) සඳහාද ජනමාධ්‍යවේදීන්ට ශිෂ්‍යත්ව පිරිනැමූ බවයි. ඒ අනුව මේ වසරේදී ප්‍රදානය කළ මුළු ශිෂ්‍යත්ව සංඛ්‍යාව 161ක් බව ඇය පැවසුවාය.

මාධ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග හඳුනා ගනිමින් දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා ආපදා කළමනාකරණය සහ පෙර සූදානම පිළිබඳ පුහුණු වැඩසටහන් අවසන් කර ඇති බවද කෞෂල්‍යා ආරියරත්න කියා සිටියාය. එමෙන්ම ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමේ කටයුතු සහ අදාළ නීති සම්පාදන කටයුතුද සිදු කරමින් පවතින බව ඇය සඳහන් කළාය.

තවද ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය (UDA) එක්ව ක්‍රියාත්මක කරන නිවාස වැඩසටහන යටතේ, ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් වෙන් කළ නිවාස 27ක් කොට්ටාව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.