ඇමෙරිකා එක්සත් ජනපදයේ බෘක්ලින් ෆෙඩරල් අධිකරණයේ පැවති නඩු විභාගයකදී, හුවාවේ (Huawei) සමාගමට එරෙහි චෝදනා 12න් 10කට එම සමාගම වරදකරු බවට ජූරි සභාව තීන්දු කර ඇත. එහෙත් සංවිධානාත්මක අපරාධ කුමන්ත්‍රණ චෝදනාවෙන් එම සමාගම නිදොස් කොට නිදහස් කිරීමට ජූරි සභාව තීරණය කළ බව bbc.com වාර්තා කරයි.
වෙළෙඳ රහස් සොරකම් කිරීමට කුමන්ත්‍රණය කිරීම, බැංකු වංචා සිදු කිරීම සහ ඇමෙරිකානු සම්බාධක උල්ලංඝනය කිරීමට කුමන්ත්‍රණය කිරීම වරදකරු වූ චෝදනා අතරට අයත් වේ. මාස දෙකක් පැවති මෙම නඩු විභාගයේදී, තරගකාරී වාසියක් සඳහා ඉරානයේ ව්‍යාපාරික ගනුදෙනු ගැන බැංකුවලට බොරු පැවසීම සහ තාක්ෂණික රහස් සොරකම් කිරීම ඇතුළු ක්‍රියාවල හුවාවේ නිරත වූ බවට පැමිණිල්ලේ නීතිඥයෝ චෝදනා කළහ.
ඇමෙරිකානු නීතිපති ටොඩ් බ්ලැන්ච් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ හුවාවේ සහ එහි අනුබද්ධිත සමාගම් තුනක් දශක ගණනාවක් තිස්සේ බොරුව සහ සොරකම පදනම් කරගෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගිය බවත්, අදාළ ක්‍රියාවල නිරත වූවන්ට ඒ සඳහා වගකීමට සිදු වනු ඇති බවත්ය. 2018 අගභාගයේ කැනඩාවේදී ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිනී මෙන්ග් වන්ෂෝ (කැතී මෙන්ග්) අත්අඩංගුවට ගැනීමෙන් පසු 2019දී ෆෙඩරල් නීතිඥයින් මෙම චෝදනා මුල් වරට ප්‍රකාශයට පත් කළ අතර, ඇය වසර තුනක් කැනඩාවේ රඳවා තැබීමෙන් පසු ඇමෙරිකානු නීතිඥයින් සමඟ ඇති කරගත් එකඟතාවකින් අනතුරුව චීනයට යාමට නිදහස් කරන ලදී.
මේ අතර සංවිධානාත්මක අපරාධ චෝදනාවෙන් නිදොස් වීම මගින් එම චෝදනාවලට කිසිදු සත්‍ය පදනමක් නොමැති බව තහවුරු වන බවත්, සිය අයිතිවාසිකම් සහ අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය සියලු නීතිමය පියවර ගන්නා බවත් හුවාවේ සමාගම පැවසීය. සමාගමේ ව්‍යාපාර රටවල් 170ක සහ 200,000කට අධික කාර්ය මණ්ඩලයක් සමඟ පුළුල් වූයේ නව නිපැයුම් සහ කැපවීම නිසා බවත්, RICO පනත යටතේ වූ සංවිධානාත්මක අපරාධ චෝදනාව ජූරි සභාව ප්‍රතික්ෂේප කිරීම සතුටට කරුණක් බවත් විත්තියේ නීතිඥ බ්‍රයන් හෙබර්ලිග් පැවසීය.
තීන්දුවේ සෙසු කොටස් ගැන මිශ්‍ර හැඟීමක් පවතින බවත්, 2027 සැප්තැම්බර් මාසයේදී නියමිත දඬුවම් නියම කිරීමේදී අවම දඬුවමක් සඳහා මැදිහත් වන බවත්, ඉන් පසු සමාගම අභියාචනයක් ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් හෙබර්ලිග් බීබීසීයට පැවසීය.





