ආගමික සහජීවනයට බාධා වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කළ බව කියන සිද්ධියට අදාළ නඩු කටයුත්තේදී නොවැම්බර් 25 වැනිදා අධිකරණය හමුවේ පෙනී නොසිටි රාජාංගනයේ සද්ධාරතන හිමි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වරෙන්තු නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය. ඊට අමතරව ඇපකරුවන්ට නොතීසි නිකුත් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

අදාළ නඩුවට සම්බන්ධ රස පරීක්ෂක වාර්තා කැඳවීම සඳහා එළඹෙන පෙබරවාරි මස 24 වැනිදා නඩුව යළි කැඳවීමටද අධිකරණය දින නියම කර ඇත.

ආගමික සහජීවනයට හානි වන අන්දමින් ප්‍රකාශ සිදු කළ බවට එල්ල වූ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර සැකකාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබිණි. එහෙත් අනුරාධපුර පූජා භූමියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ හිමියන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව සඳහන් වේ.