ශ්‍රී ලංකාවට පිරිපහදු කළ ඉන්ධන ආනයනය කිරීමේදී පදනම් කර ගන්නා සිංගප්පූරු ප්ලැට්ස් මිණුම් දර්ශකයට අනුව, ඉන්ධන පැටවීමේ බදු රහිත මූලික පිරිවැය පිළිබඳ නව දත්ත වාර්තා වී තිබේ. ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් 330ක විනිමය අනුපාතයක් පදනම් කරගනිමින් සිදු කළ ගණනය කිරීම්වලට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් බැරලයක් ඩොලර් 92.69ක් වන අතර එහි ලීටරයක මූලික මිල රුපියල් 192.39කි.

එම ගණනය කිරීම්වලට අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් බැරලයක් ඩොලර් 96.15ක් වන අතර ලීටරයක මූලික පිරිවැය රුපියල් 199.57ක් ලෙස සටහන් වේ. ඔටෝ ඩීසල් බැරලයක් ඩොලර් 140.49ක් සහ ලීටරයක මූලික මිල රුපියල් 291.61ක් වන අතර, සුපර් ඩීසල් බැරලයක් ඩොලර් 141.28ක් හා ලීටරයක මූලික පිරිවැය රුපියල් 293.25ක් ලෙස ගණනය කර ඇත.

මෙම සංඛ්‍යා නෞකාවලට ඉන්ධන පැටවීමේ මූලික මිල පමණක් වන අතර, රේගු බදු, සුරාබදු, වැට් බදු, නාවික ප්‍රවාහන හා රක්ෂණ ගාස්තු, සැපයුම්කරුවන්ගේ වාරික, බෙදාහැරීමේ වියදම් සහ පිරවුම්හල් ලාභ ආන්තික එකතු වීම හේතුවෙන් පාරිභෝගිකයාට ලැබෙන සිල්ලර පොම්ප මිල මීට වඩා ඉහළ අගයක් ගන්නා බව වාර්තා වේ. සැබෑ ආනයන දිනයේ විනිමය අනුපාතය සහ සැපයුම් ගිවිසුම් මත මෙම පිරිවැය වෙනස් විය හැකිය.