සමූපකාර ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයේ පළමු පියවර ලෙස සමූපකාර සාමාජික ලියාපදිංචිය සඳහා නව ඩිජිටල් ද්වාරය අද (14) විවෘත කෙරිණ. එය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම මධ්‍යගත ඩිජිටල් පද්ධතිය හරහා දිවයින පුරා සමූපකාර සමිති සහ සාමාජිකයන් එක් සුරක්ෂිත වේදිකාවකට සම්බන්ධ කෙරෙන අතර, ලියාපදිංචිය, සාමාජික තොරතුරු කළමනාකරණය සහ සමිති පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් සිදුකිරීමට පහසුකම් සැලසේ.
මෙම ඩිජිටල් ද්වාරය මිලේනියම් අයි.ටී. (MillenniumIT) ආයතනය විසින් සිය ආයතනික සමාජ වගකීමක් ලෙස නොමිලේ සංවර්ධනය කර දී ඇති අතර, ඉදිරි තාක්ෂණික පුහුණු කටයුතු සඳහා ද සහාය ලබාදීමට නියමිතය.
අමාත්‍යාංශය පවසන්නේ, අනාගතයේ ඩිජිටල් සාමාජික අනන්‍යතාව, මාර්ගගත ගෙවීම්, සමූපකාර බැංකු ඒකාබද්ධ කිරීම, අලෙවිසැල් ජාලගත කිරීම සහ ජාතික සමූපකාර දත්ත වේදිකාවක් නිර්මාණය කිරීම දක්වා මෙම ඩිජිටල් පද්ධතිය පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවයි.
=





