මධ්‍යම පළාත් සංවර්ධන වැඩසටහන යටතේ මහනුවර නගරයේ ක්‍රියාත්මක වන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති හතරක් ඉදිරි වසර දෙක තුළ අවසන් කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

ඒ අනුව ගැටඹේ ගුවන් පාලම, මහයියාව යටිබිම් උමං මාර්ගය, විලියම් ගොපල්ලව මාර්ගය සහ ලුවී පීරිස් මාර්ගය කඩිනමින් සංවර්ධනය කෙරෙන අතර, එම ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත සහ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන අද (15) ක්ෂේත්‍ර නිරීක්ෂණයක නිරත වූහ.

අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත සඳහන් කළේ මහනුවර නගරයේ ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරමින් රථවාහන තදබදයට දිගුකාලීන විසඳුම් ලබාදීම මෙම ව්‍යාපෘතිවල අරමුණ බවයි.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ දැනට ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කෙරෙන ප්‍රතිපාදනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් මහනුවර සංවර්ධනය සඳහා යොදවා ඇති අතර, නගරයේ යටිතල පහසුකම් ඉහළ නැංවීම වෙනුවෙන් මෙගා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වන බවයි.