ලබන වසරේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙතෙක් ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වියදම වෙන් කිරීමට රජය සැලසුම් කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව ලබන නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරයා විසින් ඉදිරි වසර සඳහා අයවැය ඉදිරිපත් කිරීමට නියමිත අතර, සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියන 2,000ක මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එම මුදල නිසි සැලසුම් සහගතව හා ප්‍රමුඛතා අනුව වැය කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බවද ඔහු අවධාරණය කළේය.

ඒ සඳහා ව්‍යාපෘති සැලසුම් කිරීම, ඇස්තමේන්තු සකස් කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාව පවතින බවද නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේය.

සාමාන්‍යයෙන් මෙවැනි ක්‍රියාවලීන් සඳහා ගතවන කාලය සැලකිල්ලට ගනිමින් මේ වනවිටත් අදාළ කටයුතු ආරම්භ කළ යුතු බවත්, වෙන් කරන ප්‍රාග්ධන ප්‍රතිපාදන කාර්යක්ෂමව භාවිත කර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අරමුණ බවත් ඔහු සඳහන් කළේය.

රජයේ සමස්ත වැඩපිළිවෙළේ අරමුණ පුරවැසියන්ට පොහොසත් රටක යහපත් ජීවන තත්ත්වයක් උරුම කරදීම බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>