ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා ඇගයීම් පද්ධතිය විභාග කේන්ද්‍ර කරගත් ප්‍රවේශයකින් ඔබ්බට ගෙන ගොස්, සිසුන්ගේ කුසලතා, නිර්මාණශීලීත්වය සහ අත්දැකීම් මත පදනම් වූ ඉගෙනුම් ක්‍රියාවලියක් බවට නවීකරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසන ලදී.

අගෝස්තු 12 වැනිදා කොළඹදී පැවති “250 Years of Educational Excellence: Lessons from a Sri Lankan American” මහජන දේශනයට එක්වෙමින් ඇය මේ බව සඳහන් කරන ලදී.

දැනට ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ වන්නේ සිසුන් සඳහා ක්‍රියාකාරකම් හා අත්දැකීම් මත පදනම් වූ ඉගෙනුම් ක්‍රමයක් හඳුන්වාදීම බවද අගමැතිනිය සඳහන් කළාය.

එසේම පවතින අධ්‍යාපන පද්ධතියේ සාර්ථක අංග ඉවත් නොකර, වර්තමාන සහ අනාගත අවශ්‍යතාවලට ගැළපෙන ලෙස එය නවීකරණය කිරීම ප්‍රතිසංස්කරණවල අරමුණ බවද ඇය අවධාරණය කරන ලදී.

ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ දෙමාපියන්ගේ ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම මෙන්ම අධ්‍යයන හා වෘත්තීය අධ්‍යාපන මාර්ග සඳහා සමාන පිළිගැනීමක් ලබාදීමේ අවශ්‍යතාවද ඇය මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.