ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර සමරු උළෙල සහ 11 වැනි මහ සභාවේ 02 වැනි විධායක කමිටු සභාවාරය 2026 නොවැම්බර් 28 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වීමට නියමිතය.
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මෙම සමුළුව සහ සංවත්සර සමරු උළෙල නොවැම්බර් 28 සිට දෙසැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, භූතාන රජු ඇතුළු බෞද්ධ රටවල රාජ්‍ය නායකයන් වෙත ඒ සඳහා විශේෂ ආරාධනා සිදු කර තිබුණි.
ලොව පුරා ථේරවාද, මහායාන සහ වජ්රයාන යන බෞද්ධ සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50කට අධික සංඛ්‍යාවක භික්ෂූ හා භික්ෂුණීන් වහන්සේලා 5,000කට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට එක්වීමට නියමිත බව සඳහන් වේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය 500 නමක්ද, 800කට ආසන්න දෙස් විදෙස් ගිහි නියෝජිත පිරිසක්ද ඊට සහභාගී වීමට නියමිතය.
1966 වසරේදී ශ්‍රී ලංකාවේදී ප්‍රථමයෙන් ආරම්භ කරන ලද ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ අවසන් සභාවාරය 2024 වසරේදී නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී පැවැත්විණි. මෙම සංවත්සරයට සමගාමීව ලෝක සාමය පතා සංවිධානය කෙරෙන විශේෂ පූජා වැඩසටහන නොවැම්බර් 30 වැනිදා සවස අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පැවැත්වීමට නියමිතය. එමෙන්ම දෙසැම්බර් 01 වැනිදා රුවන්වැලි මහා සෑය සහ මහනුවර ශ්‍රී දළදා මාළිගාව කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආගමික වතාවත් මාලාවක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත.

