රටක් වශයෙන් ගෙවනු ලබන ණය පොලී ප්‍රමාණය සියයට 80 සිට සියයට 40 දක්වා අඩු වී ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ රජය ක්‍රියාත්මක කළ ක්‍රමානුකූල වැඩපිළිවෙළ හේතුවෙන් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි වූ බවයි. ණය ලබාගෙන යැපෙන ආර්ථිකයක් වෙනුවට රට තුළ ආර්ථික වර්ධනයක් ඇති කර, එම වර්ධනය තුළින් ණය ගෙවීමේ යාන්ත්‍රණයක් රජය සකස් කර ඇති බවද ඔහු පැවසීය.

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ‘CCC+/C’ මට්ටමේ සිට ‘B-/B’ මට්ටම දක්වා ඉහළ නංවා ඇති බවද හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කළේය.

ඒ අනුව දිගුකාලීන විදේශ මුදල් සහ දේශීය මුදල් ණය ශ්‍රේණිගත කිරීම් දෙකම ‘CCC+’ සිට ‘B-’ දක්වා ඉහළ නංවා ඇති බවත්, කෙටිකාලීන විදේශ මුදල් සහ දේශීය මුදල් ණය ශ්‍රේණිගත කිරීම් ‘C’ මට්ටමේ සිට ‘B’ මට්ටම දක්වා ඉහළ නංවා ඇති බවත් වාර්තා වේ.