ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදී හෝටල් පරිශ්‍රයකදී පොල් ගසක් කඩා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්, සිය වන්දි නඩුව අසාර්ථක වීමට වගකිවයුතු යැයි කියන නීතිඥ සමාගමකට එරෙහිව බ්‍රිතාන්‍ය පවුම් මිලියන 4.5ක වන්දියක් ඉල්ලා අධිකරණයට නඩු පවරා තිබේ. ද ටෙලිග්‍රාෆ් පුවත්පත උපුටා දක්වමින් මෙම තොරතුරු වාර්තා වී ඇත.

ක්ලෙයාර් සේවෙල් නමැති මෙම කාන්තාව 2017 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදී අදාළ අනතුරට මුහුණ දී ඇති අතර, එහිදී තරු හතරේ හෝටලයක වෙරළ තීරයේ විවේකීව ගත කරමින් සිටියදී අඩි 50ක් පමණ උසැති පොල් ගසක් ඇගේ දෙපා මතට කඩා වැටී ඇත. බරපතළ තුවාල ලැබූ ඇය කොළඹ පෞද්ගලික රෝහලක ශල්‍යකර්ම කිහිපයකට ද මුහුණ දී ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බ්‍රිතාන්‍යයට ගොස් තිබේ.

මෙම අනතුර හේතුවෙන් ඇගේ දෛනික ජීවිතයට සහ රැකියාවට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඇය තම සංචාරය සංවිධානය කළ සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන තිබුණි.එම නීතිමය කටයුතු මෙහෙයවීම සඳහා බ්‍රිතාන්‍යයේ නීතිඥ සමාගමක සහාය ලබාගෙන තිබුණද, නඩුවට අදාළ වැදගත් ලියකියවිලි වැරදි විද්‍යුත් තැපැල් ලිපිනයකට යොමු කිරීම හේතුවෙන් නියමිත කාලය තුළ ඒවා ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස සංචාරක සමාගමට එරෙහිව ගොනුකර තිබූ මූලික වන්දි නඩුව අසාර්ථක වී ඇති අතර, නීතිඥ සමාගමේ වෘත්තීය නොසැලකිල්ල සහ ලියකියවිලි නිසි ලෙස යොමු නොකිරීම හේතුවෙන් තමන්ට විශාල මූල්‍යමය අහිමිවීමක් සිදුවූ බව පවසමින් ක්ලෙයාර් සේවෙල් මෙම නව නඩුව ගොනු කර ඇත. ලියකියවිලි යොමු කිරීමේදී අතපසුවීමක් සිදුවූ බව අදාළ නීතිඥ සමාගම පිළිගෙන තිබුණද, ඇය ඉල්ලා සිටින පවුම් මිලියන 4.5ක වන්දි මුදල ගෙවීමට එකඟ වී නොමැති බව සඳහන් වේ.