ශ්‍රී ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වන විට ‘පීඩන අවපාතයක්’ දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (නොවැම්බර් 15) අලුයම 5.30 වන විට මෙම පද්ධතිය ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 600ක පමණ දුරකින් ඊසාන දෙසින් ස්ථානගතව තිබී ඇත.
මෙම කාලගුණ තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් උතුරට බරව වයඹ දෙසට ගමන් කිරීමට නියමිතය. ඒ අනුව, හෙට (නොවැම්බර් 16) උදෑසන වන විට මෙම පද්ධතිය ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත්, එදින රාත්‍රී කාලයේදී දකුණු සහ යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ‘සුළි කුණාටුවක්’ දක්වාත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තවදුරටත් තීව්ර වන මෙම පද්ධතිය නොවැම්බර් 17 වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ‘ප්‍රබල සුළි කුණාටුවක්’ බවට පත්වීමට ඉඩ ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවයි.
මේ හේතුවෙන්, උතුරු අක්ෂාංශ 05ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල මෙන්ම කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නිරතවන ධීවර සහ නාවික ප්‍රජාවට නැවත දැනුම් දෙනතුරු එම කටයුතුවලින් සම්පූර්ණව වැළකී සිටින ලෙස දන්වා තිබේ. දැනටමත් අදාළ මුහුදු ප්‍රදේශවල නිරතව සිටින පිරිස් වහාම ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන සහ අනතුරු ඇඟවීම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් ඉල්ලා සිටී.

