ප්‍රංශයේ අඛණ්ඩව ක්‍රියාත්මක වන විරෝධතා සහ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් පාලනය කිරීමේ අරමුණින් පැරිස් නුවර අධ්‍යාපන ආයතන කිහිපයක් ආශ්‍රිතව දින පහක කාලයකට විරෝධතා තහනමක් පැනවීමට එරට පොලිසිය කටයුතු කර තිබේ. ඒ අනුව, පැරිස් නුවර ද්විතීයික පාසල් 10ක් සහ විශ්වවිද්‍යාල 5ක් ඉලක්ක කර ගනිමින් මෙම නියෝගය ක්‍රියාත්මක වේ.
අද (16) සිට නොවැම්බර් 20 වැනිදා දක්වා බලපැවැත්වෙන මෙම සීමා කිරීම් යටතේ අදාළ පාසල් සහ විශ්වවිද්‍යාල පිහිටි ස්ථානවල සිට මීටර් 100ක පරාසයක් තුළ අවසරයකින් තොරව රැස්වීම් පැවැත්වීම සහ පෙළපාළි යාම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. ඇතැම් අධ්‍යාපන ආයතනවල පිවිසුම් මාර්ග අවහිර කිරීම, පොදු දේපළවලට හානි සිදුකිරීම සහ ආරක්ෂක අංශ සමඟ ගැටුම් ඇතිවීම වැනි අඛණ්ඩ සිදුවීම් හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදු වූ බව පැරිස් පොලිස් ප්‍රධානී පැට්රිස් ෆෝර් සඳහන් කරයි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී පාසල්වල පවතින අඩුපාඩු සහ පහසුකම් මුල්කර ගනිමින් ආරම්භ වූ මෙම විරෝධතා රැල්ල, වර්තමානය වන විට විශ්වවිද්‍යාල සිසුන්, වෘත්තීය සමිති සහ ඉහළ යන ජීවන වියදමට එරෙහි ‘කහ කබා’ ව්‍යාපාරය දක්වා ව්‍යාප්ත වී තිබේ. විරෝධතා ආරම්භ වූ දින සිට මේ දක්වා පැරිස් නුවරින් පමණක් පුද්ගලයින් 1,548 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අධ්‍යාපන කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙම ආරක්ෂක පියවර අත්‍යවශ්‍ය වී ඇති බව බලධාරීන් පෙන්වා දෙයි.
