මෙම වසරේ පළමු මාස 8 තුළ රජයේ බදු නොවන ආදායම පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇති බව අයවැය, ආර්ථික සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ 2027 වාර්තාව මඟින් අනාවරණය කර තිබේ.

ඒ අනුව, පසුගිය වසරේ පළමු මාස 8 තුළ රුපියල් බිලියන 226.2ක් ලෙස සටහන් වූ බදු නොවන ආදායම, මෙම වසරේ අදාළ කාල සීමාව තුළ රුපියල් බිලියන 314.8ක් දක්වා සියයට 39.1කින් ඉහළ ගොස් ඇත.මෙම සමස්ත වර්ධනය සඳහා විවිධ අංශ වලින් ලැබුණු ආදායම් දායකත්වය පුළුල්වී ඇති අතර, මහ බැංකුවේ රුපියල් බිලියන 42.1ක ලාභ පැවරීම් ද ඊට ඇතුළත් වේ.

මීට අමතරව, පොලී ආදායම 2025 වසරේ පළමු මාස 8 තුළ පැවති රුපියල් බිලියන 43.4 සිට මෙම වසරේදී රුපියල් බිලියන 51.7 දක්වා සියයට 19.1කින් වර්ධනය වී තිබේ. දඩ, ගාස්තු සහ අයකිරීම් මඟින් ලැබුණු ආදායම ද රුපියල් බිලියන 112.6 සිට රුපියල් බිලියන 133.6ක් දක්වා සියයට 18.7කින් ඉහළ ගොස් ඇති අතර, ඊට මෝටර් රථ ප්‍රවාහන, ආගමන හා විගමන මෙන්ම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු හරහා ලැබුණු ගාස්තු ද දායක වී ඇත.

තවද, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ යාම සහ දායකත්ව අනුපාත වැඩිවීම මත සමාජ ආරක්ෂණ දායකත්වයෙන් ලැබුණු ආදායම රුපියල් බිලියන 45.3 දක්වා වර්ධනය වී තිබේ. රජය සතු ව්‍යවසායන්ගෙන් ලැබුණු ලාභ හා ලාභාංශ ආදායම ද සියයට 36කින් ඉහළ යමින් රුපියල් බිලියන 19.9ක් ලෙස සටහන් වී ඇත. මේ අතර, 2026 වසර සඳහා අපේක්ෂිත රුපියල් බිලියන 360ක බදු නොවන ආදායම් ඉලක්කයෙන් සියයට 87.4ක ප්‍රමාණයක් මෙම පළමු මාස අට තුළ සාර්ථකව රැස් කර ගැනීමට රජය සමත්ව තිබේ.