ශ්‍රී ලංකා කුරුඳු සඳහා මෙරට පළමු ජාතික භූගෝලීය දර්ශක සහතිකය ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය විසින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය වෙත ප්‍රදානය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා කුරුඳු ජාතික භූගෝලීය දර්ශකයක් ලෙස ලියාපදිංචිය සම්පූර්ණ කර තිබේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය දශකයකට ආසන්න කාලයක් පුරා රාජ්‍ය, පෞද්ගලික අංශ සහ කුරුඳු ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ සිදු කළ ව්‍යාපෘතියක සාර්ථකත්වයෙන් මෙම සහතිකය හිමි වූ බව සඳහන් වේ. 2022 වසරේ පෙබරවාරි 02 වැනිදා ශ්‍රී ලංකා කුරුඳු භූගෝලීය දර්ශකයක් ලෙස යුරෝපා සංගමය විසින් ප්‍රසිද්ධ කර තිබිණි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් වෙනුවෙන් යුරෝපා සංගමය තුළ ලියාපදිංචි කළ ප්‍රථම භූගෝලීය දර්ශකය මෙය වන අතර, මෙරටට අනන්‍ය වූ භෝගයක් වන කුරුඳු සඳහා එම පිළිගැනීම හිමි වීම සුවිශේෂී කරුණකි.