අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, මීගමුව බන්ධනාගාරයේ සිදුවූ මාරාන්තික ගැටුම සම්බන්ධයෙන් දැනට ලැබී ඇති මූලික තොරතුරු අනුව එය මත්ද්‍රව්‍ය හා පාතාල කණ්ඩායම් අතර ඇතිවූ ගැටුමක් විය හැකි බව ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා පැවසුවේ, මෙම සිද්ධිය ආරම්භයේදී රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් ලෙස ඇති වූ අතර, පසුව සංවිධානාත්මක පිරිසක් සීසීටීවී කැමරා සහ බොඩි ස්කැනර් වැනි ආරක්ෂක උපකරණවලටද හානි සිදුකර ඇති බවයි.

එමෙන්ම, නිරායුධ බන්ධනාගාර නිලධාරීන්ටද අමානුෂික ලෙස පහරදී ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා නිලධාරීන් සිය ආත්මාරක්ෂාව වෙනුවෙන් වෙඩි තැබීමට කටයුතු කළ බවද ඔහු සඳහන් කළේය.

මියගිය පුද්ගලයන්ගේ මරණයට නිශ්චිත හේතුව පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනාවරණය වනු ඇති බව පැවසූ අමාත්‍යවරයා, සිද්ධියට සම්බන්ධ බවට සැකකරන රැඳවියන් 734 දෙනෙකු ආරක්ෂිතව වෙනත් බන්ධනාගාර වෙත මාරු කර ඇති බවද ප්‍රකාශ කළේය.