උතුරු පළාතේ මියගිය ඥාතීන් සිහිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබුණද, තහනම් කරන ලද එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කෙරෙන කිසිදු ක්‍රියාවකට ඉඩ නොතබන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

පසුගිය දින කිහිපය තුළ උතුරේ පැවති සැමරුම් උත්සව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 2011 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙන්ම එහි සැමරුම්ද තහනම් කර ඇති බවයි. ඒ අනුව එම සංවිධානයේ ලාංඡන හෝ සංකේත භාවිත කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත්, ශ්‍රී ලංකා පොලිසිය ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

පසුගිය සතිය පුරා යාපනයේ පැවති සැමරුම් පිළිබඳව පොලිසිය විශේෂ අවධානයක් යොමු කළ බවත්, අදාළ ගැසට් නිවේදනයට පරිබාහිරව සිදු වූ ක්‍රියා සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව මන්නාරම ප්‍රදේශයේදී ප්‍රභාකරන්ගේ රුව සහිත ඡායාරූපයක් ප්‍රදර්ශනය කරමින් සැමරුමක් පැවැත්වූ පුද්ගලයන්ද, මුලතිව් ප්‍රදේශයේදී එවැනි ඡායාරූපයක් ප්‍රදර්ශනය කරමින් සැමරුම් උත්සවයක් පැවැත්වූ පුද්ගලයකුද අත්අඩංගුවට ගත් බව ඔහු සඳහන් කළේය. එමෙන්ම දිලීපන්ගේ සිද්ධියට අදාළ ප්‍රදර්ශනය කිරීම්වලට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ජාතිවාදයෙන් පැවැත්ම තහවුරු කර ගත් ඇතැම් පිරිස් ජාතිවාදය අවුස්සා දේශපාලන න්‍යාය පත්‍ර ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන බවට චෝදනා කළ අමාත්‍යවරයා, තම මියගිය දෙමාපියන්, සහෝදරයන්, දූ දරුවන් හෝ ඥාතීන් සිහිපත් කිරීමට උතුරටත්, නැගෙනහිරටත්, දකුණටත් එකසේ අවස්ථාව ලබා දී ඇති බව අවධාරණය කළේය.

කෙසේ වෙතත් ඇතැම් සංකේත භාවිත කරමින් පැවැත්වූ සැමරුම් නතර කිරීමට පියවර ගෙන ඇති අතර, ඊට සම්බන්ධ ඇතැම් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.