SpaceX සමාගම සතු පරිගණක ධාරිතාවෙන් තවත් කොටසක් කුලියට ලබා ගැනීම කෙරෙහි Google සමාගම උනන්දුවක් දක්වන බව ඊලොන් මස්ක් X සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ප්‍රකාශ කළ බව Reuters පුවත් සේවය උපුටා දක්වමින් වාර්තා වේ.
කෙසේ වෙතත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළි කිරීමට ඔහු කටයුතු කර නොමැති අතර, මේ සම්බන්ධයෙන් අදහස් විමසීමට Reuters පුවත් සේවය කළ ඉල්ලීම්වලට ඊලොන් මස්ක්, SpaceX හෝ Google සමාගම් ක්ෂණිකව ප්‍රතිචාර දක්වා නොමැති බවද එම වාර්තාවේ දැක්වේ.
SpaceX සමාගම සිය මූලික කොටස් නිකුතුවට පෙර Google සමාගම සමඟ බහු-වාර්ෂික ක්ලවුඩ් සේවා ගිවිසුමකට දැනටමත් එළඹ තිබේ. 2026 ජුනි මාසයේදී නිවේදනය කෙරුණු එම ගිවිසුමේ කොන්දේසිවලට අනුව, 2026 ඔක්තෝබර් මාසයේ සිට 2029 ජුනි මාසය දක්වා Google සමාගම විසින් SpaceX වෙත මාසිකව අමෙරිකානු ඩොලර් මිලියන 920ක මුදලක් ගෙවීමට නියමිතය. එම පරිගණක ධාරිතාවට Nvidia සමාගමේ GPUs 110,000ක් පමණ, CPUs, මතක උපාංග සහ අදාළ අනෙකුත් උපාංග ඇතුළත් වේ.
Generative AI සේවාවන් හඳුන්වා දීමත් සමඟ පරිගණක යටිතල පහසුකම් සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති අතර, Nvidia සහ අනෙකුත් නිෂ්පාදකයන්ගේ දියුණු චිප් වර්ගවලින් සමන්විත දත්ත මධ්‍යස්ථාන සඳහා තාක්ෂණික සමාගම් විශාල වශයෙන් ආයෝජනය කරමින් සිටී.
2026 මැයි මාසයේදී Anthropic සමාගමද SpaceX හි පරිගණක සම්පත් ලබා ගැනීමේ ගිවිසුමකට එළඹි බව ප්‍රකාශ කළ අතර, Anthropic සහ Google සමාගම් සමඟ ඇති කර ගත් පරිගණක ධාරිතා ගිවිසුම්වල සමස්ත වටිනාකම ඩොලර් බිලියන 70 ඉක්මවන බව SpaceX සමාගම 2026 ජුනි මාසයේදී නියාමන ආයතන වෙත ඉදිරිපත් කළ වාර්තාවකින් අනාවරණය කර තිබුණි.
මේ අතර SpaceX සමාගම සිය දැනට පවතින මෙම්ෆිස් ප්‍රදේශයේ මධ්‍යස්ථානයෙන් ඔබ්බට ගොස් පරිගණක ධාරිතාව තවදුරටත් පුළුල් කරමින් සිටී. ටෙක්සාස් ප්‍රාන්තයේ රියෝ ග්‍රෑන්ඩ් නිම්නයේ පිහිටි Starbase හි නව සුපිරි පරිගණක මධ්‍යස්ථානයක් සහ ඇරිසෝනා ප්‍රාන්තයේ කොචීස් ප්‍රාන්තයේ දෙවන මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 74කට අධික මුදලක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති බව එම සමාගම 2026 නොවැම්බර් මාසයේදී ප්‍රකාශ කළේය.

