අද පෑලියගොඩ තිබෙන මෙම එළවලු වෙළදපොල පෙර පැවතියේ පිටකොටුවේය.
එය පෑලියගොඩට ගෙන එන ලද්දේ එහි පැවති තදබදය හා අඩු පහසුකම් වලට විකල්පයක් වශයෙනි.
අලුත් තැනට පැමිණි පසු අලුත් ප්‍රශ්ණ ය. නියෝජ්‍ය ඇමති ප්‍රශ්ණ සොයාගෙන එතැනට ගියේය.

ඊයේ (17) දින පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණයේ පවතින ගැටළු පිළිබඳ සොයා බැලීම සඳහා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා එහි ක්ෂේත්‍ර පරීක්‍ෂාවක යෙදුණේය.

ඇමතිවරයා හමුවු වෙළඳ හා පාරිභෝගික පිරිස්, තමන්ගේ ප්‍රශ්ණ හා ගැටලු පැවසුහ. ඒ සම්බන්ධව අවධානය යොමුකරමින් වෙළඳ සංකීර්ණය පරීක්ෂා කළ ඇමතිවරයා, රාජ්‍ය නිලධාරීන්ගේ ද සහාය ඇතිව හඳුනාගත් සියලු ගැටලු නිශ්චිත කාල රාමුවක් තුල, විසඳීමට සුදුසු යාන්ත්‍රණය සැකසීම සඳහා මෙම වසරේ ජනවාරි මස අවසන් සතියේ අදාල පාර්ශ්වයන් සමග සාකච්ඡාවකට අවශ්‍ය කටයුතු යෙදීමට ද තීරණයක් ගත්තේය.

එහිදී ඔහු විසින් ප්‍රකාශ කරන ලද්දේ පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ ස්ථාවර පැවැත්ම වෙනුවෙන් රාජ්‍ය යාන්ත්‍රණයේ පූර්ණ මැදිහත්වීම නොඅඩුව ලබා දෙන බවයි.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල, පෑලියගොඩ නගර සභාවේ නගරාධිපති, වෙළඳ සංගමයේ ලේකම්, වෙළඳ සංගම් නියෝජිතයින් ද ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් විශාල පිරිසක් ද එක්ව සිටියහ.