ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස්ට ගෞරව දැක්වීම සඳහා සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) ක්‍රීඩා මණ්ඩපයේ ඔහුගේ ආලේඛ්‍ය ඡායාරූපයක් (Portrait) 2026 නොවැම්බර් 26 වැනි බ්‍රහස්පතින්දා නිරාවරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ හිටපු සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් මෙන්ම ක්‍රීඩා සමාජයේ නිලධාරීන්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

ඒ අනුව, SSC ක්‍රීඩා සමාජයෙන් මෙම ගෞරවය හිමි කර ගත් හයවැනි ක්‍රිකට් ක්‍රීඩකයා බවට කුසල් මෙන්ඩිස් පත්ව ඇත. මීට පෙර දුලිප් මෙන්ඩිස්, අර්ජුන රණතුංග, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන සහ දිමුත් කරුණාරත්න යන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයන්ට මෙම ගෞරවය හිමිව තිබුණි.

ශ්‍රී ලංකාවට වැඩිම ටෙස්ට් ක්‍රිකට් නායකයන් සංඛ්‍යාවක් බිහි කළ ක්‍රීඩා සමාජය බවටද SSC ක්‍රීඩා සමාජය පත්ව තිබේ. NCC ක්‍රීඩා සමාජයෙන් ටෙස්ට් නායකයන් පස්දෙනකු බිහි වී ඇති අතර, බ්ලූම්ෆීල්ඩ් සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජවලින් ටෙස්ට් නායකයන් තිදෙනකු බැගින් බිහි වී ඇත. නොමැඩ්ස් සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජවලින් එක් ටෙස්ට් නායකයකු බැගින් බිහි වී ඇති අතර, කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ 19 වැනි නායකයා වේ.

මෙම අවස්ථාවට එක්වෙමින් කුසල් මෙන්ඩිස් සඳහන් කළේ, මෙය සිය ක්‍රිකට් දිවියේ සුවිශේෂී අවස්ථාවක් මෙන්ම මින් පෙර අත්විඳ නොමැති විශාල ත්‍යාගයක් හා සමාන ගෞරවයක් බවය. මීට වසර පහකට පෙර SSC ක්‍රීඩා සමාජය සමඟ එක්වීමට ලැබීම පිළිබඳව තමන් ඉතා සතුටට පත්වන බවද ඔහු පැවසීය.

මෙම ඇගයීම ජාතික කණ්ඩායමේ නායකයා ලෙසත්, රට නියෝජනය කරන ක්‍රීඩකයකු ලෙසත් තම වගකීම තවදුරටත් ඉහළ නංවන බව කුසල් මෙන්ඩිස් පෙන්වා දුන්නේය. නායකත්වයේ කොපමණ කාලයක් රැඳී සිටියද, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් දායක වීම, සෙසු ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය කිරීම සහ වඩාත් දක්ෂ නායකයකු බවට පත්වීම සිය අරමුණ බවද සඳහන් කළ ඔහු SSC ක්‍රීඩා සමාජයේ සාමාජිකයන්ට සිය ස්තුතිය පළ කළේය.