බිම්බෝම්බවලින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා එක්වන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් නව ජාත්‍යන්තර හවුල්කරුවන්ගෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් 2026 නොවැම්බර් 25 වැනිදා අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් සහ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කෙරිණි. එම වැඩසටහන සඳහා 2027 වසරේ ජාතික අයවැයෙන් රුපියල් මිලියන 950ක මුදලක් වෙන් කර ඇති බවද එහිදී අනාවරණය වී තිබේ.

කොළඹ පිහිටි රටවල් 19ක රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල නියෝජිතයන් මෙන්ම යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන නිලධාරීන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. ඊට අමතරව, නවදිල්ලියේ සිට ශ්‍රී ලංකාවට අක්ත ගන්වා ඇති තවත් රටවල් 06ක රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඊට සහභාගී වූ බව සඳහන් වේ.

බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය, ඉදිරි සැලසුම් සහ එහිදී මුහුණ දෙන අභියෝග පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි. මෙම කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කම අමාත්‍යවරයා පෙන්වා දුන් අතර, බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්ය මණ්ඩලයෙන් සියයට 40කට ආසන්න පිරිසක් කාන්තාවන් බවත් ඔවුන් ලබා දෙන දායකත්වය ඇගයීමට ලක් වූ බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව මේ දක්වා අත්කර ගෙන ඇති ප්‍රගතිය අගය කළ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් ඉදිරියටත් සිය සහාය ලබා දෙන බව ප්‍රකාශ කර ඇති අතර, නව මූල්‍ය සම්පාදන ක්‍රමවේද පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා කර ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.