CEYLEX Renewables ආයතනය විසින් මන්නාරමේ ඉදිකළ, මෙගාවොට් 20 ක ධාරිතාවයකින් යුත් ‘මන්නාරම වින්ඩ්ස්කේප්’ (WINDSCAPE MANNAR) සුළං විදුලි බලාගාරය ඊයේ දින (15) පෙරවරුවේ නිල වශයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරුණේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.

පූර්ණ දේශීය සමාගමක් මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය හෝ පෞද්ගලික අංශය යටතේ මෙගාවොට් 5 (5 MW) ධාරිතාවෙන් යුතු ටර්බයින භාවිතයෙන් නිමකළ ප්‍රථම සුළං බල ව්‍යාපෘතියයි.

මෙම සුළං විදුලිබලාගාරය වෙනුවෙන් පසුගිය රජය විසින් විදුලි ඒකකයක් සඳහා ඩොලර් 0.0826ක මිලක් නියමව තිබූ අතර නව රජය විසින් එම ව්‍යාපෘතිය නැවත සළකා බැලිණි. ඒ අනුව Hayleys Fentons Limited සමාගම විසින් විදුලි ඒකකයක් ඩොලර් 0.0456කට, එනම් ශ්‍රී ලංකා රුපියල් 14.37ක ඉතිහාසයේ අඩුම මුදලකට මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට එකඟ විය.

ඒ අනුව සුළං විදුලි බලාගාරය විවෘත කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා ටර්බයින ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවටද එක් විය.

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කාම් ඉල්යාස් යන මහත්වරු සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානිහුද, මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනකේෂ්වරන්, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ශර්ලි කුමාර, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර යන මහත්වරුද, CEYLEX Renewables ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඉංජිනේරු සමීර ගනේගොඩ මහතා සහ එහි නියෝජිතයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.