මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් බලශක්ති සැපයුමට ඇතිවූ බාධා මධ්‍යයේ, රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට කඩිනම් සැලසුම් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකට අදාළ අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් එක්වූ අතර, බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කරමින් රාජ්‍ය සේවා සහ ආර්ථික ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගැනීමේ ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ අවධානය යොමු විය.

මෙහිදී රාජ්‍ය සේවය සඳහා එක් දිනක නිවාඩුවක් ලබා දීමෙන් බලශක්ති පරිභෝජනය සීමා කිරීමේ හැකියාව සොයා බැලූ අතර, අධ්‍යාපන, සෞඛ්‍ය, සංචාරක, කර්මාන්ත, කෘෂිකර්ම, වරාය, ගුවන් සේවා සහ ඩිජිටල් සේවා වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල අවම බලශක්ති පරිභෝජනයෙන් සේවා පවත්වා ගැනීමේ විකල්ප ක්‍රමවේද පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

ඉන්ධන බෙදාහැරීමේ ප්‍රමාණය තීරණය කිරීමට විශේෂ කමිටුවක් වාර්තාවක් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් අතර, QR ක්‍රමය හරහා දෛනික ඉන්ධන පරිභෝජනය කළමනාකරණය කිරීමේ වැදගත්කමද අවධාරණය කළේය.

ඒ සඳහා අදාළ අමාත්‍යාංශ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක්ව QR ක්‍රමය වඩාත් විධිමත් කිරීමට යෝජනා කරන ලදී.

ජනාධිපතිවරයා තවදුරටත් අවධාරණය කළේ, පවතින තත්ත්වය හමුවේ ගොවි ජනතාව සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු සලකා බලමින්, ආර්ථිකයට බලපෑම් අවම කිරීමට සියලු දෙනාගේ දායකත්වය අවශ්‍ය බවත්, අවශ්‍ය අවස්ථාවලදී සහනාධාර ක්‍රම මගින් පහසුකම් සැපයීමට සිදුවන බවත්ය.

එමෙන්ම, රාජ්‍ය උත්සව තාවකාලිකව නතර කිරීමටත්, ඉදිරියේදී රජය ගනු ලබන පියවර පිළිබඳව පෞද්ගලික අංශය දැනුවත් කිරීමටත් යෝජනා කරන ලදී.