බන්ධනාගාරගත කරන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ චීවරය සම්බන්ධයෙන් පවතින නීති හා රෙගුලාසි සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

මෑතකදී භික්ෂූන්වහන්සේ නමක් බන්ධනාගාරගත කළ අවස්ථාවේ ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවකදී ගත් තීරණයකට අනුව මේ සඳහා කමිටුවක් පත් කළ බව ඔහු සඳහන් කළේය.

එම කමිටුවේ අතුරු වාර්තාවට අනුව බන්ධනාගාර නිත්‍ය නියෝග 356 සහ 550 සංශෝධනය කිරීමට යෝජනා කර තිබේ.

ඒ අනුව, භික්ෂූන් වහන්සේ නමක් සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී චීවරය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග බෞද්ධ කටයුතු පිළිබඳ බලධාරීන්ගේ දැනුම්දීම මත සිදුකිරීමට යෝජනා කර ඇත.

එමෙන්ම, බන්ධනාගාරයෙන් පිටතට යන අවස්ථාවලදී චීවරය පැළඳ සිටීමට භික්ෂූන් වහන්සේලාට අවසර ලබාදීම සඳහා ද නව ප්‍රතිපාදන යෝජනා කර තිබේ.

අදාළ නිර්දේශ ක්‍රියාත්මක කරමින් බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>