පොලිස් ස්ථාන තුළට ජංගම දුරකථන රැගෙන යෑම තහනම් කරමින් කිසිදු චක්‍රලේඛයක් නිකුත් කර නොමැති බවත්, ඕනෑම පුරවැසියකුට සිය ජංගම දුරකථනය රැගෙන පොලිස් ස්ථානයට යෑමට බාධාවක් නොමැති බවත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පොලිස් ස්ථානවලට පැමිණෙන මහජනතාවට ජංගම දුරකථන ඇතුළතට රැගෙන යෑම තහනම් කර චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවට මාධ්‍ය මඟින් පළ වන කරුණ පිළිබඳව විපක්ෂ මන්ත්‍රී සුරංග රත්නායක මහතා කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම පැහැදිලි කිරීම සිදු කළේය.

එවැනි කිසිදු චක්‍රලේඛයක් නිකුත් කර නොමැති බව යළි අවධාරණය කළ ආනන්ද විජේපාල, සිරකූඩුවේ රඳවා සිටින පුද්ගලයන්ට හෝ ඇතැම් සබඳතා පවත්වන පාර්ශ්වයන්ට දුරකථන සංවාද ලබා දීම සම්බන්ධයෙන් පමණක් යම් බාධාවන් පැවතිය හැකි බව පෙන්වා දුන්නේය. කෙසේ වුවද සාමාන්‍ය ජනතාවට ජංගම දුරකථන රැගෙන පොලිස් ස්ථානයට යෑමට කිසිදු බාධාවක් නොමැති බවද ඔහු සඳහන් කළේය.