ශ්‍රී ලංකාවේ යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට ගැළපෙන ලෙස තවදුරටත් සංශෝධනය කරන්නැයි එක්සත් ජාතීන්ගේ ස්වාධීන මානව හිමිකම් විශේෂඥයන් රජයෙන් ඉල්ලා තිබේ.

නොවැම්බර් 9 වැනිදා නිකුත් කළ ප්‍රකාශයෙන් ඔවුන්, 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමට යෝජනා කිරීම පිළිගෙන ඇත. ලැබුණු ප්‍රතිචාර අනුව නව කෙටුම්පත වැඩිදියුණු කර ඇති බව පිළිගන්නා අතරම, තවත් වැදගත් ගැටලු විසඳිය යුතු බව ඔවුහු පෙන්වා දෙති.

ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ දැක්වීම චේතනාන්විතව මරණය හෝ බරපතළ තුවාල සිදුකරන ක්‍රියාවලට සීමා කිරීම ඔවුන්ගේ නිර්දේශයකි. හුදෙක් දේපළ හානි එම අර්ථ දැක්වීමට ඇතුළත් නොකළ යුතු බවද ඔවුහු සඳහන් කරති.

රැඳවුම් නියෝග කඩිනම් හා ඵලදායී අධිකරණ අධීක්ෂණයට යටත් කිරීමත්, රඳවා සිටින පුද්ගලයන්ට නීතිඥ සහාය, ස්වාධීන වෛද්‍ය පරීක්ෂණ සහ පවුලේ සාමාජිකයන් සමඟ සම්බන්ධතා සහතික කිරීමත් විශේෂඥයන් ඉල්ලා ඇත. හමුදාවට ලබාදෙන අත්අඩංගුවට ගැනීමේ, ප්‍රශ්න කිරීමේ සහ සෝදිසි කිරීමේ බලතල ඉවත් කිරීමටද ඔවුහු නිර්දේශ කරති.

වධහිංසා හෝ අයුතු සැලකීම් මඟින් ලබාගත් සාක්ෂි බැහැර කිරීම, මාධ්‍යවේදීන්ගේ රහස්‍ය මූලාශ්‍ර ආරක්ෂා කිරීම සහ නීතිවිරෝධී ක්‍රියා සිදුකරන නිලධාරීන්ට මුක්තිය ලබා නොදීමද නිර්දේශ අතර වේ.

කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා තාක්ෂණික සහාය ලබාදීමට සූදානම් බවද විශේෂඥයෝ ප්‍රකාශ කර ඇත.