මේ වනවිට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සහ ප්‍රජා ශක්ති ජාතික මහලේකම් කාර්යාලය එක්ව දියත් කරන ලද “දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන” යටතේ, දිස්ත්‍රික් මට්ටමින් ප්‍රජා සභා නියෝජිතයන් දැනුවත් කිරීමේ සමුළු මාලාව ක්‍රියාත්මක වෙමින් තිබේ.

ඒ අනුව කිලිනොච්චිය, වවුනියාව, මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික් ප්‍රජා සභා සභාපතිවරු හා ලේකම්වරුන් සඳහා විශේෂ දේශන සහ වීඩියෝ දර්ශන උපයෝගි කරගනිමින් දැනුවත් කිරීමේ සමුළුව ඊයේ (11) දින පෙරවරුවේ කිලිනොච්චිය නෙලුම් පියස ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

මෙම අවස්ථාවට ප්‍රධානත්වය දුන් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා අවදාරණය කරන ලද්දේ දිළිඳුකම තුරන් කිරීම සඳහා ජාති, ආගම්, කුල භේද අමතක කර සියළු දෙනා එක්විය යුතු බවයි.

ජනාධිපතිතුමන් සිට ගමේ ජනතාව දක්වා විද්‍යාත්මක ක්‍රමවේදයක් හරහා බැඳුනු වැඩපිළිවෙළක් ලෙස ප්‍රජා ශක්ති වැඩසටහන ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කරන ලදී.

ඉදිරියේදී සියළුම දෙනා එකිනෙකාට පැවරී ඇති වගකීම් හඳුනාගෙන ක්‍රියාත්මක වීමෙන් පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් ජනතාවට උරුම කර දිය හැකි බවද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.