තායිලන්තයේ මහා වචිරාලොංකෝන් රජු පිරිනැමූ කඨින චීවර නොවැම්බර් 21 වැනිදා මහනුවර අස්ගිරි මහා විහාරයේදී පූජා කළ බවත්, එය ශ්‍රී ලංකාවේදී තායි රාජකීය කඨින චීවර පූජා කළ 23 වැනි අවස්ථාව බවත් තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය නොවැම්බර් 22 වැනිදා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මෙම පූජෝත්සවයට තායිලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය සිහාසක් ෆුවාංකෙට්කියෝ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් මුලසුන දැරූහ. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ද උත්සවයට සහභාගි වී තිබේ.

තායිලන්ත රජු, එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ දෙරටේ ප්‍රජාවන් සිදු කළ පරිත්‍යාගවල සමස්ත වටිනාකම ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 94කට ආසන්න බව එම නිවේදනයේ දැක්වේ. විදේශ රටවල බෞද්ධ විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් 1995 වසරේ සිට තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම චීවර පූජා වැඩසටහන වාර්ෂිකව සංවිධානය කරමින් සිටී.