ශ්‍රී ලාංකික සාගර ජීව විද්‍යාඥවරියක වන ආචාර්ය ආශා ඩි වොස් මහත්මියට එක්සත් රාජධානියේ සමුද්‍ර ජීව විද්‍යා සංගමය (Marine Biological Association – MBA) විසින් “Fellow” ගෞරවනීය පදවිය පිරිනමා තිබේ. එම සංගමයේ රාජකීය ප්රඥප්තියට (Royal Charter) අනුව සමුද්‍ර ජීව විද්‍යා ක්ෂේත්රයට සිදු කරන ලද සුවිශේෂී සහ බලපෑම් සහගත දායකත්වයන් ඇගයීම වෙනුවෙන් මෙම පදවිය පිරිනමනු ලැබේ.
උතුරු ඉන්දියන් සාගරයේ නිල් තල්මසුන් පිළිබඳ දීර්ඝකාලීන පර්යේෂණවල පුරෝගාමියකු වන ආචාර්ය ආශා ඩි වොස්, ශ්‍රී ලංකාවේ පළමු ගැඹුරු මුහුදු ගවේෂකවරිය ලෙසද සැලකේ. සාගර අධ්‍යාපනඥවරියක සහ ලේඛිකාවක වන ඇය, සමුද්‍ර සංරක්ෂණ ක්ෂේත්රයේ විවිධත්වය සහ සමානාත්මතාව වෙනුවෙන් හඬ නඟන අතර උතුරු ඉන්දියන් සාගරයේ සමුද්‍ර ක්ෂීරපායින් හා ගැඹුරු මුහුදු පර්යේෂණ පිළිබඳ දශක ගණනාවක ක්ෂේත්‍ර අත්දැකීම් ලබා තිබේ.
ශාන්ත ඇන්ඩෘස් (St. Andrews), ඔක්ස්ෆර්ඩ් (Oxford) සහ University of Western Australia යන විශ්වවිද්‍යාලවලින් උපාධි ලබා ඇති ඇය, ශ්‍රී ලංකාවේ ප්‍රථම සමුද්‍ර සංරක්ෂණ පර්යේෂණ සහ අධ්‍යාපන සංවිධානය වන ‘ඕෂන්ස්වෙල්’ (Oceanswell) ආයතනය පිහිටුවා නව පරපුරේ ශ්‍රී ලාංකික සමුද්‍ර විද්‍යාඥයන් පුහුණු කිරීමට කටයුතු කරයි. මීට අමතරව University of Western Australia හි සාගර ආයතනයේ අනුබද්ධ පර්යේෂණ විශේෂ සාමාජිකාවක ලෙසත්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ අට දෙනකුගෙන් යුත් බාහිර විද්‍යාත්මක උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක ලෙසත් ඇය කටයුතු කරයි.
විද්‍යා සන්නිවේදිකාවක ලෙස දේශන, වාර්තා වැඩසටහන් සහ සාගරය පිළිබඳ කෘති තුනක් හරහා BBC, The New York Times, TED සහ National Geographic වැනි ජාත්‍යන්තර මාධ්‍යවල අවධානයට ලක්ව ඇති ඇය මීට පෙරද ජාත්‍යන්තර ගෞරව රැසක් ලබා තිබේ. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිය ඡායාරූපයක් ප්‍රදර්ශනයට තැබූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව වීම, 2018 BBC 100 Women ලැයිස්තුවට ඇතුළත් වීම, 2018 LMD ‘වසරේ ශ්‍රී ලාංකිකයා’ නම් කිරීම, 2020 පළමු ‘මැක්ස්වෙල්-හැන්රාහන්’ සම්මානය සහ Scuba Diving සඟරාවේ ‘වසරේ සාගර වීරයා’ සම්මානය ඒ අතර වේ. එසේම 2021 ‘වනිතාභිමානී’ යාවජීව සම්මානය, Tällberg-SNF-Eliasson ගෝලීය නායකත්ව ත්‍යාගය, 2023 බ්‍රිතාන්‍ය පාරිසරික සංගමයේ සමානාත්මතා සහ විවිධත්ව ශූරිය නම් කිරීම, කැලිෆෝනියා විද්‍යා ඇකඩමියේ Osher අධිසාමාජිකත්වය සහ 2026 Forrest පර්යේෂණ පදනමේ ‘Thinker-in-Residence’ ලෙස නම් කිරීමද ඇය ලැබූ සුවිශේෂී ඇගයීම් අතරට ඇතුළත්ය.

