ඉදිරියේදී තායිලන්තයේ නිල සංචාරයකට එක්වන ලෙස තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය සිහාසක් ෆුවාන්ග්කෙට්කියෝ (Sihasak Phuangketkeow) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කර තිබේ. ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර නොවැම්බර් 22 වැනිදා පැවැති ද්විපාර්ශ්වික හමුවේදී මෙම ආරාධනය සිදු කෙරිණි.
මෙම හමුවේදී ලබන වසරේ අගෝස්තු මාසයේ පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහර නැරඹීමට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළේය. දෙරට අතර පවතින ඓතිහාසික සබඳතා මෙවැනි රාජ්‍යතාන්ත්‍රික සංචාර මඟින් තවදුරටත් ශක්තිමත් වන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
තායිලන්තයේ මහා වජිරලොංකෝන් රජතුමාගේ රාජකීය නියෝජිතයා ලෙස මහනුවර අස්ගිරි මහා විහාරයේ පැවැත්වෙන රාජකීය කඨින චීවර පූජා පුණ්‍යෝත්සවයට සහභාගී වීම සඳහා සිහාසක් ෆුවාන්ග්කෙට්කියෝ මහතා මෙරටට පැමිණ සිටී.
ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී වෙළෙඳ, ආයෝජන, සංචාරක සහ විදේශ රැකියා ක්ෂේත්රයන්හි සහයෝගීතාව පුළුල් කිරීමට නායක දෙපළ එකඟ වූහ. විශේෂයෙන් කෘෂිකාර්මික ක්ෂේත්රයට අවශ්‍ය තාක්ෂණික සහාය ඕනෑම අවස්ථාවක ලබා දීමට තායිලන්තය සූදානම් බව නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පැවසීය. එමෙන්ම තායිලන්තයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට තම රටේ පුරවැසියන්ට හා සමානව සලකන බවත්, ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය පිළිබඳ පූර්ණ වගකීම දරන බවත් ඔහු අවධාරණය කළේය.





