සාම නෘත්‍ය නිර්මාණයට වසර 40ක් සපිරීම නිමිත්තෙන් එයට දායක වූ ප්‍රවීණ කලාකරුවන් ඇගයීමේ “TRIBUTE TO LEGENDS” උත්සවය නොවැම්බර් 22දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. එම අවස්ථාවට සහභාගි වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කලාකරුවන් වෙත සම්මාන පිරිනැමූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නොවැම්බර් 24දා සඳහන් කළේය.

රවිබන්දු විද්‍යාපති, මහාචාර්ය මුදියන්සේ දිසානායක, ආචාර්ය චන්න විජේවර්ධන සහ සාම නෘත්‍ය නිර්මාණයේ පුරෝගාමියකු වන නවීන් ගුණරත්න ඇතුළු කලාකරුවෝ මෙහිදී ඇගයීමට ලක්වූහ. වසර 40ක ගමන සිහිපත් කරමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක්ද නිකුත් කර තිබේ.

කලා සම්ප්‍රදායන්ගේ වටිනාකම හඳුනන පරපුරක් බිහිකිරීමට අවශ්‍ය පදනම සකස් කිරීම රජයේ වගකීමක් බව උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. සහකම්පනය, සංහිඳියාව සහ සාමය වර්ධනය කරන කලාවක අවශ්‍යතාවද ඇය අවධාරණය කළාය.

කලා උරුමය අනාගත පරපුර වෙත ගෙනයාම සහ වඩාත් සාමකාමී සමාජයක් ගොඩනැගීම පිළිබඳ වගකීම සිහිපත් කිරීමට මෙවැනි ඇගයීම් අවස්ථාවක් කරගත යුතු බවද ඇය සඳහන් කළාය.