නිදර්ශන රූපය

සාම බැලේ නිර්මාණයේ වසර 40ක ගමන සිහිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කර තිබේ. මේ වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උත්සවය නොවැම්බර් 22 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

සාම බැලේ නිර්මාණයට දායක වූ කලාකරුවන් එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතින් ඇගයීමට ලක් විය. රවිබන්දු විද්‍යාපති, මහාචාර්ය මුදියන්සේ දිසානායක, ආචාර්ය චන්න විජේවර්ධන සහ නිර්මාණයේ පුරෝගාමියකු වූ නවීන් ගුණරත්න ද ඒ අතර වූහ.

කලා සම්ප්‍රදායන්හි වටිනාකම අවබෝධ කරගන්නා පරපුරක් බිහි කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම රජයේ වගකීමක් බව අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කළාය. විවිධත්වයට ගරු කිරීම සහ සහජීවනය ගොඩනැගීම සඳහා කලාවට කළ හැකි කාර්යය ද ඇය පෙන්වා දුන්නාය.