කොළඹ දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍ය අධ්‍යාපන පහසුකම් හිඟයට විසඳුමක් ලෙස ත්‍රෛභාෂික පාසලක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය. නොවැම්බර් 23 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවති කොළඹ දිස්ත්‍රික් අධ්‍යාපන අනුකමිටු රැස්වීමේදී මේ ගැන සාකච්ඡා කර තිබේ.

පහසුකම් හිඟ ප්‍රදේශවල පවතින පාසල්වල දෙමළ මාධ්‍ය පන්ති ආරම්භ කිරීමට ද අවධානය යොමු වී ඇත. ඇතැම් ප්‍රදේශවල දෙමළ මාධ්‍ය පාසල් හිඟය සිසුන්ගේ පැමිණීම අඩුවීමට සහ පාසල් හැරයෑමට බලපා ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කර තිබේ.

සෑම දරුවකුටම මවු භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සැලසීම රජයේ වගකීමක් බව අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කළාය.