Grand Theft Auto (GTA) ක්‍රීඩා මාලාව නිර්මාණය කරන Rockstar Games සමාගමේ සම-නිර්මාතෘ සෑම් හවුසර් (Sam Houser), GTA VI ක්‍රීඩාව හරහා ගෝලීය විනෝදාස්වාද ක්ෂේත්‍රයේ නව වාර්තාවක් පිහිටුවා ඇති බව Financial Times පුවත්පත වාර්තා කරයි. එම ක්‍රීඩාව නිකුත් කිරීමට පෙර සිදු කළ ඇණවුම්වලින් පමණක් අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික ආදායමක් උපයා ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

2013 වසරේදී නිකුත් කළ GTA V ක්‍රීඩාව දින තුනක් තුළ අමෙරිකානු ඩොලර් බිලියනයක අලෙවියක් වාර්තා කළ අතර, GTA VI එම වාර්තාවද අභිබවා ගොස් ඇති බව වාර්තා වේ. නව ක්‍රීඩාව ඉතිහාසයේ ඉහළම විචාරක ඇගයීම් ලැබූ වීඩියෝ ක්‍රීඩාව බවට පත්ව ඇති බවත්, එහි ග්‍රැෆික් නිර්මාණ සහ ක්‍රීඩා අත්දැකීම ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රශංසාවට ලක්ව ඇති බවත් සඳහන් වේ. එසේම ප්‍රධාන චරිත යුගලයෙන් එක් අයකු ලෙස ලුසියා (Lucia) නමින් ප්‍රධාන කාන්තා චරිතයක් හඳුන්වා දී තිබේ.

1971 වසරේදී ලන්ඩනයේ උපත ලැබූ සෑම් හවුසර්, රංගන ශිල්පිනියක වූ මවගේ සහ නීතිඥවරයකු මෙන්ම සැක්සෆෝන් වාදකයකු වූ පියාගේ දරුවකු වන අතර, කුඩා කල සිටම වීඩියෝ ක්‍රීඩා සහ අමෙරිකානු හිප්-හොප් සංගීත සංස්කෘතිය කෙරෙහි උනන්දුවක් දැක්වීය. ඔහු 1997දී නිකුත් වූ පළමු Grand Theft Auto ක්‍රීඩාවේ නිර්මාණ කටයුතුවලට දායක වූ අතර, 1998දී සොහොයුරු ඩෑන් හවුසර් සමඟ Rockstar Games ආරම්භ කළේය. 2001දී නිකුත් වූ GTA III හරහා ත්‍රිමාණ අත්දැකීම හඳුන්වා දීමෙන් පසු එම ක්‍රීඩා මාලාව ගෝලීය ජනප්‍රියත්වයක් ලැබූ අතර, Red Dead Redemption සහ Manhunt ඇතුළු ක්‍රීඩාද Rockstar Games නිර්මාණය කර ඇත.

කෙසේ වෙතත් ප්‍රචණ්ඩත්වය, අපරාධ සහ ලිංගික අන්තර්ගතයන් හේතුවෙන් GTA මාලාව විවේචනයට ලක්ව තිබේ. 2005දී GTA: San Andreas ක්‍රීඩාවේ අනවසර ලිංගික දර්ශනයක් සම්බන්ධ අමෙරිකානු බලධාරීන්ගේ විමර්ශනයකදී හවුසර් පැය නවයක් පමණ ප්‍රශ්න කිරීම්වලට ලක්වූ බව Financial Times වාර්තාවේ දැක්වේ. 2018දී ඇතැම් සේවකයන් සතියකට පැය 100ක් පමණ සේවය කළ බවට ප්‍රකාශයක් පළ වූ අතර, GTA VI පිළිබඳ ක්‍රීඩාලෝලීන්ගේ අපේක්ෂා සපුරාලීම සමාගමට අභියෝගයක් බවද එම පුවත්පත පෙන්වා දෙයි.