ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා වසර තිහකට අධික කාලයක් තිස්සේ සිය පාලනය යටතේ තබාගෙන සිටි යාපනයේ පෞද්ගලික වෙළෙඳසැල් පරිශ්‍රයක් මාස 18ක් ඇතුළත එහි මුල් හිමිකරුවන්ට යළි භාරදීමට අධිකරණයේදී එකඟ වී තිබේ.

‘ටැමිල් ගාඩියන්’ පුවත්පත උපුටා දක්වමින් ලංකා සී නිවුස් වෙබ් අඩවිය මේ බව වාර්තා කරයි.

අදාළ වෙළෙඳසැල්වල නීත්‍යානුකූල හිමිකරුවන් විසින් පවරන ලද නඩුවක් යාපනය දිසා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඩග්ලස් දේවානන්ද මහතා මෙම එකඟතාව පළ කර ඇත.

යාපනය ස්ටැන්ලි පාරේ ශ්‍රීධර් සිනමාහල ඉදිරිපිට පිහිටි මෙම සාප්පු සංකීර්ණය, දශක තුනකට වැඩි කාලයක් තිස්සේ දේවානන්ද මහතා සිය ග්‍රහණයේ තබාගෙන සිටි බවට හිමිකරුවන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි.

2015 වසරේදී මෙම දේපොළ ආපසු ලබාදෙන බවට පොරොන්දු වුවද එය ඉටු නොවීම නිසා හිමිකරුවන් මෙලෙස නීතිමය පියවර ගෙන තිබේ.

නඩු විභාගයේදී අදාළ දේපොළවල හිමිකාරිත්වය පිළිගත් හිටපු අමාත්‍යවරයා, පරිශ්‍රය හිස් කිරීමට වසර තුනක කාලයක් ඉල්ලා සිටියද හිමිකරුවන්ගේ නීතිඥවරුන්ගේ විරෝධය හමුවේ ඉදිරි මාස 18 ඇතුළත එය මුළුමනින්ම භාරදීමට එකඟ වී ඇත.