යෝජිත ජෛව සුරක්ෂිතතා පනත් කෙටුම්පත මඟින් ජාන විකරණය කරන ලද ජීවීන් (GMO/LMO) සම්බන්ධ පර්යේෂණ, ආනයනය, අපනයනය, භාවිතය සහ කළමනාකරණය විද්‍යාත්මක හා නීතිමය පදනමක් මත නියාමනය කිරීමට නව රාමුවක් හඳුන්වා දෙන බව පරිසර අමාත්‍යාංශය පවසයි.

ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පරිසර අමාත්‍ය ආචාර්ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (10) දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම පනත මඟින් ජෛව විවිධත්වය, පරිසර පද්ධති සහ මහජන සෞඛ්‍යයට ඇතිවිය හැකි අවදානම් අවම කිරීම, ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීම සහ ජෛව තාක්ෂණයේ ආරක්ෂිත භාවිතය සහතික කිරීම අරමුණු කරයි.

මධ්‍යම පරිසර අධිකාරිය ජාතික බලයලත් අධිකාරිය ලෙස කටයුතු කරන අතර, අවදානම් තක්සේරු කිරීම, බලපත්‍ර නිකුත් කිරීම, නිරීක්ෂණය සහ නීති බලාත්මක කිරීමේ බලතල එම ආයතනයට හිමිවේ.

අමාත්‍යවරයා සඳහන් කළේ, ජෛව තාක්ෂණික නවෝත්පාදනය හා පරිසර සංරක්ෂණය අතර සමතුලිතතාවයක් පවත්වා ගනිමින් තිරසර සංවර්ධනය ශක්තිමත් කිරීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණ බවයි.