බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ විද්‍යාගාරයක සිදුවූ අනතුරකින් පිලිස්සුම් තුවාල ලැබූ සිසුවියගේ ප්‍රතිකාර සහ පවුලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ජනාධිපති අරමුදල මගින් මාසිකව රුපියල් 25,000ක ශිෂ්‍යාධාරයක් ලබාදීමට පියවර ගෙන තිබේ.
පසුගිය මාර්තු 23 වැනිදා විද්‍යාගාරයේ පිෂ්ඨ පරීක්ෂාවක් අතරතුර රසායන ද්‍රව්‍ය උතුරා ගොස් ගිනි ගැනීමෙන් සිසුවිය පිලිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දී දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලැබුවාය. මේ වන විට ඇයගේ තත්ත්වය සුව අතට හැරෙමින් පැවතුණද තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ.
පවුලේ ආර්ථික අපහසුතා සැලකිල්ලට ගනිමින් සිසුවියගේ මව කළ ඉල්ලීමකට අනුව මෙම සහනය ලබාදීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව, අනතුරට පත් සිසුවිය ඇතුළු එම පවුලේ ඉගෙනුම ලබන දරුවන් සිව්දෙනාගේ අධ්‍යාපන කටයුතු සඳහා සෑම මසකම රුපියල් 25,000ක ශිෂ්‍යාධාරයක් අඛණ්ඩව ලබාදීමට ජනාධිපති අරමුදල කටයුතු යොදා තිබේ. මෙම ශිෂ්‍යාධාරය නිල වශයෙන් පිරිනැමීම ඊයේ (11) දින රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.





