ක්‍රීඩා කමිටු සභාපතිවරයා තමාට ඉහළින් කටයුතු කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, සභාපතිවරයා පත් කර ඇත්තේ තමා බවත්, තමාට ඉහළින් සිටින්නේ ජනාධිපතිවරයා පමණක් බවත් පැවසීය.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ විවිධ කණ්ඩායම් අතර මතභේද පැවතීම අලුත් දෙයක් නොවන බව සඳහන් කළ අමාත්‍යවරයා, එවැනි තත්ත්වයන් බොහෝ ක්‍රීඩා සංගම්වල දක්නට ලැබෙන බව ප්‍රකාශ කළේය.

දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කිරීමේ කටයුතු සමඟ ක්‍රීඩා සංගම්වල නිලවරණ පැවැත්වීම සහ වංචා හා දූෂණ සම්බන්ධ විමර්ශනද එකවර සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම, වංචා හා දූෂණ සම්බන්ධයෙන් ලැබී ඇති සියලු තොරතුරු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත යොමු කර ඇති අතර, ඒවාට ඉදිරි දිනවලදී විසඳුම් ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.