ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වන ලදී.
ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට, කාර්යක්ෂම සහ අඛණ්ඩ විදුලිබල සැපයුමක් සහතික කිරීම සහ නව සමාගම්වල අයිතිය රජය යටතේ පවත්වා ගනිමින් රටක් ලෙස බලශක්ති සුරක්ෂිතතාව පවත්වා ගැනීම එම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙහි අරමුණ බව ජනාධිපතිවරයා පෙන්වා දෙන ලදී.
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට හිමිව තිබූ සියලු අයිතිවාසිකම් මෙම ක්‍රියාවලියේදී නව සමාගම් තුළ ද තහවුරු කිරීම රජයේ ස්ථාවරය බව පෙන්වා දුන් ජනපති, විදුලිබල මණ්ඩලය ලෙස පවතින අවස්ථාවේදීම විසඳා ගත යුතුව තිබූ, එහෙත් මෙතෙක් නොවිසඳී ඇති ගැටලු පිළිබඳව ද වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.
මෙය කිසිසේත් සුමට ක්‍රියාවලියක් නොවන බවත්, දීර්ඝකාලීන සහ සැලසුම් සහගත ක්‍රියාවලියක් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙම පරිවර්තනීය කාලය තුළ සේවකයන් සහ නව සමාගම් අතර මනා අවබෝධයකින් යුතු සංවාදයක් පවත්වා ගැනීමේ වැදගත්කමත්, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කර ගැනීමේ අවශ්‍යතාවත් මෙහිදී පෙන්වා දෙන ලදී.
එමෙන්ම, සේවකයන්ගේ මානසික නිදහස තහවුරු කරමින්, ඔවුන්ගේ අනාගත අපේක්ෂා හඳුනා ගනිමින්, ඔවුන්ට සිය සේවය තෘප්තිමත්ව සැපයිය හැකි නිදහස් පරිසරයක් සකසාදීමේ වැදගත්කම ද ජනපති අවධාරණය කළේය.




