ශ්‍රී ලංකාවේ උසස් පෙළ විභාගය ඉහළින් සමත් වූ සිසුන් හට ඉහළ පෙළේ විශ්වවිද්‍යාලවල උපාධි අධ්‍යයනය සඳහා විදෙස් ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන ඊයේ (12) දින අධ්‍යාපන අමාත්‍යාංශයේදී ආරම්භ කරන ලදී.
මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරන ලද්දේ මෙය සාමාන්‍ය ශිෂ්‍යත්ව වැඩසටහනක් නොව, රටේ ඉදිරි දැක්ම නිර්වචනය කරන දීර්ඝකාලීන ආයෝජනයක් බවය.
වැඩසටහන සඳහා රුපියල් මිලියන 4,001 ක ආයෝජනයක් සිදු කරනු ලබන අතර 2025 සිට 2033 දක්වා කාලය තුළ සිසුන් 200 දෙනෙකුට විදේශ ශිෂ්‍යත්ව ලබාදීමටද මෙහිදී සැලසුම් කර ඇත.
මෙහි මුල් අදියර ලෙස 2025/26 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 32 දෙනෙකු තෝරාගෙන ඇති අතර, ඔවුන්ගෙන් 9 දෙනෙකු ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ ඉහළ පෙළේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වී ඇත.
තෝරාගත් සිසුන් QS, THE හෝ ARWU ශ්‍රේණිගත කිරීම්වල මුල් 500 ඇතුළත ඇති විශ්වවිද්‍යාලවල අධ්‍යයනය කළ යුතු අතර, එක් සිසුවෙකුට වසරකට උපරිම රු. මිලියන 20 බැගින්, සම්පූර්ණ උපාධි කාලය සඳහා රු. මිලියන 80 දක්වා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සිදු කරයි.
මෙම ශිෂ්‍යත්ව ලබාගන්නා සිසුන් අධ්‍යාපන කුසලතා මෙන්ම නායකත්ව ගුණාංග, පෞරුෂත්වය සහ සමාජ පරිවර්තනයට දායක විය යුතු බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කරන ලදී.
මෙම උත්සවයට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව සහ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහ සිසුන් සහභාගි වූහ.






