2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ඛනිජ වැලි සංගමය සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී මෙරට ඛනිජ සම්පත් ජාතික ආර්ථිකයේ වර්ධනයට සහ අපනයන ආදායම ඉහළ නැංවීමට වඩාත් විධිමත් ලෙස යොදාගැනීම පිළිබඳ අවධානය යොමු කෙරුණු වගත්,
එහිදී ඛනිජ සම්පත් ගවේෂණය, කැණීම් සහ අගය එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කළ වගත් ජනපති සඳහන් කරන ලදී.

දේශීය හා විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගනිමින් ක්ෂේත්‍රයේ ආයෝජකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීම සහ පවතින ගැටලු කඩිනමින් විසඳීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇත.

නව ආයෝජන කැඳවීමේදී විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම සහ අදාළ රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.