අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීම සඳහා ක්‍රියාත්මක කරන ණය වැඩසටහන්වල පවතින ගැටලු සහ අඩුපාඩු හඳුනාගෙන ඒවාට ප්‍රතිකර්ම යෙදීම අත්‍යවශ්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කරන ලදී.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලදී.

ඔහු ප්‍රකාශ කරන ලද්දේ දිළිඳුකම තුරන් කිරීම සඳහා ජනසවිය, සමෘද්ධි, දිවිනැගුම සහ අස්වැසුම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබුණද, එම වැඩසටහන් හරහා සැබෑ ලෙස කොපමණ පිරිසක් දිළිඳුකමෙන් මුදාගෙන තිබේද යන්න යළි සොයා බැලිය යුතු බවය.

විවිධ ණය හා ආධාර වැඩසටහන් හරහා ජනතාව සවිබලගැන්වීමට හැකි වුවද, ඇතැම් ණය නිසි පරිදි ජනතාව වෙත නොයන බවට තොරතුරු පවතින බවද ඔහු පැවසීය.

එමෙන්ම, බැංකු ඇතුළු අදාළ ආයතනවල පවතින ගැටලු හඳුනාගෙන ඒවාට ප්‍රතිකර්ම යෙදිය යුතු බවත්, ඒ සඳහා යොදවන්නේ මහජන මුදල් බැවින් එය වගකීමෙන් කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>