අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ වැඩසටහන් වේගවත් කිරීමේ අරමුණින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක ආවරණය කරමින් පැවැත්විණි.

‘ප්‍රජා සවියට නව බලයක්’ යන තේමාව යටතේ පැවති මෙම වැඩසටහනට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 21,000කට ආසන්න සේවක පිරිසක් සම්බන්ධ කර ගැනීමට නියමිත අතර, එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කරන ලද්දේ වර්තමානයේ සමෘද්ධි දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පැහැදිලිව නිර්වචනය කරගැනීම අත්‍යවශ්‍ය බවය.

2023 වසරේදී අස්වැසුම වැඩසටහන ආරම්භ කිරීමත් සමඟ සමෘද්ධි වැඩසටහනේ කාර්යභාරය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් මතුවූ බව අමාත්‍යවරයා පැවසීය.

2024 ජනාධිපතිවරණයෙන් සහ මහමැතිවරණයෙන් ජනතාව ලබාදුන් බලයත් සමඟ එම වගකීම් භාරගැනීමට සිදුවූ බවද ඔහු සඳහන් කළේය.

අතීතයේ සිදුවූ දේ අධ්‍යයනය කර පාඩම් ලබාගැනීම වැදගත් නමුත්, එම අතීතය පිළිබඳව නැවත නැවත කතා කරමින් සිටීමෙන් ඉදිරි ගමනක් නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>