කොළඹ නාගරික ප්‍රදේශවල අඩු ආදායම් ලාභී ජනතාව සඳහා ඉදිකරන ලද කිරුලපන ඩී. එම්. කොළඹගේ මාවත “THE RESIDENCIES KIRULAPONE” මහල් නිවාස සංකීර්ණය ඊයේ (04) ජනතා අයිතියට පත් කෙරිණ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවේදී නිවාස 624කින් සමන්විත B1 සහ B2 පර්යන්ත දෙකක් නිලවශයෙන් භාරදෙනු ලැබීය. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියේ පිරිවැය රුපියල් මිලියන 5,784 කි.

ගිණි නිවන පද්ධති, ජල සැපයුම්, විදුලි හා මලාපවහන පද්ධති, සෝපාන සහ පොදු පහසුකම් ඇතුළු නවීන යටිතල පහසුකම් රැසක් මෙයට ඇතුළත් වේ. පෙරපාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන, පොලිස් උප පොලක් හා වෙළඳසැල් 38ක්ද මෙහි ස්ථාපිත කර ඇත.

අමාත්‍යවරයා සඳහන් කළේ නිවාස ලබාදීමෙන් පමණක් නොව, එම ජනතාවගේ සමාජ හා ආර්ථික ජීවිතය ද ශක්තිමත් කිරීම රාජ්‍යයේ වගකීමක් බවයි. නිසි කළමනාකරණය හා ජනතා සහභාගීත්වය මගින් මෙවැනි ව්‍යාපෘති දිගුකාලීනව සාර්ථක කළ හැකි බවද ඔහු අවධාරණය කළේය.