​කාන්තාවන් සතු දේශපාලනික, ආර්ථික සහ සමාජීය අයිතිවාසිකම් හුදෙක් නීති පොත්වලට හෝ ලේඛනවලට පමණක් සීමා නොකර, ඒවා මෙරට සෑම කාන්තාවකගේම සැබෑ ජීවිතය තුළ අත්විඳිය හැකි යථාර්ථයක් බවට පත්කිරීම රජයේ වගකීම බව අග්‍රාමාත්‍ය ආචාරිනී හරිනි අමරසූරිය ප්‍රකාශ කරන ලදී.

අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කරන ලද්දේ ​”පොහොසත් රටක අභිමන – ඇය වේ රටක පෙරමග” තේමාව යටතේ ඊයේ (08) දින රුහුණු විශ්වවිද්‍යාලයේ අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු මෙවර ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

මෙරට කාන්තා ව්‍යවසායිකාවන්ගේ නිෂ්පාදන හුදෙක් ප්‍රදේශයට පමණක් සීමා නොවිය යුතු යි. ඔවුන් ජාතික ආර්ථිකයේ සක්‍රීය කොටස්කරුවන් බවට පත්කිරීමට අවශ්‍ය පසුබිම රජය විසින් සකස් කරමින් පවතින බවත් එතුමිය මෙහිදී ප්‍රකාශ කරන ලදී.

එසේම ලොවෙහි විවිධ අර්බුද හමුවේ මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටීමට කාන්තාවන්ට විශාල වගකීමක් ඇති බව පෙන්වා දෙමින් සහකම්පනයෙන් යුතුව සංවිධානය වී සාමය වෙනුවෙන් හඬ නැගීමට පෙරමුණ ගන්නා ලෙසද අග්‍රාමාත්‍යතුමිය මෙරට කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියාය.