රුවන්වැලිසෑය අසල සත්‍යග්‍රහයේ නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පස්නමකට නොවැම්බර් 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නොවැම්බර් 9 වැනිදා සිතාසි නිකුත් කළේය.

පිරිසට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස නොවැම්බර් 7 වැනිදා නිකුත් කළ නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිඥයන් ගොනු කළ මෝසමක් සලකා බැලීමේදී මෙම නියෝගය නිකුත් කෙරිණි. පෙර නියෝගය අවලංගු කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පැවසුවේ සත්‍යග්‍රහය රුවන්වැලිසෑ මළුවේ නොව දන්සල් භූමියේ පැවැත්වෙන බවත්, එයින් මහජනතාවට බාධාවක් නොවන බවත්ය. නියෝගය ලබාගැනීමේදී පොලිසිය අධිකරණයට වැරදි කරුණු ඉදිරිපත් කළ බවටද ඔවුහු චෝදනා කළහ.

එහෙත් විමර්ශන අනුව මහජනතාවට අපහසුතාවක් ඇතිවන බවත්, ඉවත් වන ලෙස දුන් නියෝගයට පිරිස අනුකූල වී නොමැති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්මට අදාළ ගැසට් නිවේදනය ඉවත් කරන ලෙස ඉල්ලා මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබේ.